ONLINE අධ්‍යාපනය සහ ප්‍රාථමික දරුවා
ONLINE අධ්යාපනය සමග වැඩිපුරම මානසික පීඩනයකට යටත් වූ කාණ්ඩය ප්රාථමික අවධියේ පසුවන දරුවන්වේ. ලංකාවේ ප්රාථමික අධ්යාපනය ගත් කළ එය 1 සිට 5 වසර දක්වා කාණ්ඩගත කළ හැක. මේ අතරිනුත් 1 -3 පමණ වන ළමුන් මෙයින් දැඩි මානසික පසුබෑමකට ලක්ව සිටී. මෙය ඔවුන්ගේ මනෝ සමාජීය සංවර්ධනයට මෙන්ම අනාගත පෞරුෂ වර්ධනට ද එක ලෙස බලපායි.
ලාංකීය අධ්යාපන ක්රමයේ විධිමත් අධ්යාපනය ඇරඹෙන්නේ 1 ශ්රේණිය පදනම් කරගෙන ය. එයට ඇතුලත් වන්නේ වයස අවුරුදු 5-6 වයස් වල පසුවන දරුවන් වේ. ඔවුන් තම අවිධිමත් පෙර පාසල් අධ්යාපනය අවසන් කර, කාල සටහනකට හුරු වෙමින්, වඩා වැඩි සමාජ ආශ්රයක් ලබමින් ,ඔවුන්ගේ මූලික මනෝ සමාජීය සංවර්ධන ඉලක්ක පසු කරයාම ආරම්භ කරයි. මේ සඳහා සම වයස් කණ්ඩායම්, විනය නීතී රීති හා බැඳුන පාසල් පද්ධතිය , ක්රමවත් අධ්යාපන රටාව වගේම අන්තර් පුද්ගල සබඳතා ඉතාමත් වැදගත් කාර්යක් ඉටු කරයි. ONLINE අධ්යාපන රටාව සමග ප්රාථමික දරුවාගෙන් මේ කරුණු කාරනා සියල්ල එකවර ගිලිහීම සිදුවේ. ගුරුවරයා සමග ඇති බැඳීම, කාල සටහනකට අනුව ගතවුන දින චර්යාව, සම වයස් කණ්ඩායම් සමග ගනුදෙනු කිරීමට සන්නිවේදනය කිරීමට තිබූ හැකියාව මෙන්ම විව්ධ සමාජ ආශ්රය නැති වීමෙන් ඔවුන් මුහුනපාන අර්බුදය දෙමාපියන් හෝ වටහා ගෙන නොමැත. පාසල මගින් මෙහෙයවන ONLINE පංති වලට අමතරව තවත් අමතර පංති වලට දරුවා සම්බන්ධ කරමින් ඔවුන්ගේ තිර කාලය ( SCREEN TIME) දෙමාපියන් විසින්ම පමණ ඉක්මවා වැඩි කර තිබේ. මෙම වයසේ පසුවන දරුවෙකුට උපරිම විනාඩි 40 පමණක් අධ්යාපනය ලබාදිය යුතු වුවද ONLINE හරහා දිනකට පැය 3-4 පංති පවත්වන අයුරු අප කොතෙකුත් දැක ඇත. එහෙ ඵලදාතාවය කෙතරම් පහළ අගයක් ගන්නේ දැයි දෙමාපියන්ට වැටහීමක් නොමැත්තේ නිවසට කොටු වූ දරුවාගේ පාසල් වැඩ පවා ඔවුන්ට තනිවම කිරීමට ඉඩ හසර නොලැබෙන බැවිනි. දරුවා ලඟ සිට සියලුම වැඩ කරදෙන දෙමාපියන් දරුවාගේ වර්තමාන තත්ත්වය පවා නොදනී.
මෙහිදි ගුරුවරුන්ට කළ හැකි කාර්ය සීම සහිත වේ. සියලුම දරුවන් පිළිබඳ පාසලේදී ලබාගන්නා තක්සේරුව ONLINE හරහා ලබා ගැනීම අසීරු වේ. දරුවන්ගේ මට්ටම තේරුම් ගැනීමටත් එක් එක් දරුවාට වෙන වෙනම අවධානය ලබා දීමටත් අපහසු වේ. විශේෂයෙන් ප්රාථමික දරුවන් සමග කටයුතු කරන ගුරුවරුන් මෙහිදී මහත් අපහසුවට පත්වේ.
මෙවැනි තත්ත්වයක් යටතේ ප්රාථමික දරුවන්ට සාර්ථක අධ්යාපනක් ලබා දීමට නම් දෙමාපියන් වගේම පාසල් පද්ධති ද මීට වඩා ළමුන්ගේ මානසික සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. කෙටි කාලච්ඡේද යටතේ ඉගැන්වීම, අධ්යාපන කටයුතු වලින් පසු දුරකතන , පරිගණක භාවිතය අවම කිරීම, දරුවා සඳහා විවේක කාලය ඵලදායී කිරීමට වැඩ සටහන් සංවිධානය කිරීම, පාසලේදී මෙන් තනිව වැඩ කටයුතු කරගැනීමට ඉඩ ලබා දීම, දරුවාගේ අදහස් හුවමාරුවට ගෙදර තැනක් ලබා දීම, දෙමාපියන්ගේ ආතතිය දරුවා පිටින් නොයැවීම, පෝෂ්යදායි ආහාර වේලක් ලබාදීම වැනි දේ මගින් දරුවා මානසික අවපීඩන තත්ත්වයකට පත්වීම වළක්වා ගත හැකි අතර ඵලදාතාවය වැඩි කරගත හැක.
වෙනස් වන තත්ත්ව හමුවේ සාර්ථකව වෙනස් වෙමින් ඉදිරියට යන දරු පරපුරක් නිර්මාණය කිරීම සමාජීය වගකීමක් ලෙස සැලකිය හැක.
Comments
Post a Comment